ප්‍රජාව කෙරෙහි ලබැඳි සෙනෙහසින් යුතුව, ඔවුන්ගේ පවතින සමාජ, ආර්ථික දුෂ්කරතා මෙන්ම අනෙකුත් අවශ්‍යතා සපුරාලීම පිණිසම කැපවුණ වැඩසටහනක් ලෙස “සෙනෙහස" සමාජ සත්කාරක වැඩසටහන පුරා වසරක් පුරා ක්‍රියාවට නංවන ලදී.

ඒ තුළින් අඩු අදායම්ලාභී, වැඩි අවධානමක් සහිත පවුල්වල ආහාර අවශ්‍යතාව, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සුරක්ෂිත කරමින් වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම, ළමුන් සඳහා අධ්‍යාපනික උපකරණ හා පොත්පත් සැපයීම, ජීවනෝපාය සංවර්ධනය සඳහා අවශ්‍ය සහාය සැපයීම යන කරුණු ක්‍රියාත්මක කරන ලද අතර එම කාර්යයන්ගෙන් ඔබ්බට ගොස් දුප්පත් මානසිකත්වයෙන්, යැපුම් මානසිකත්වයෙන් මුදවා ගනිමින් ප්‍රජාවගේ ආර්ථිකය ඉහළ නංවාලීම පෙරදැරි කරගනිමින් තිරසාර ප්‍රජා සංවර්ධන වැඩසටහනක් කෙරෙහි යොමුවීමේ කාලීන අවශ්‍යතාව පැන නැගුණි.

මෙම කාර්යය සපුරා ලනු වස් ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන ව්‍යවසායකත්ව සෙනෙහස (Entrepreneurial Loveliness) යි. මේ තුළින් බලාපොරොත්තු වන්නේ දිස්ත්‍රික්කයේ සිටින විසි දහසක් පමණ වු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සහ අඩු ආදායම්ලාභී පවුල්වල මෙන්ම නව ව්‍යවසායකයින්ගේ සේවා හා නිෂ්පාදන සඳහා දිරිදීම් ද සිදුකර ආර්ථිකව ශක්තිමත් කර ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවාලීමයි.

මේ සඳහා දිස්ත්‍රික් ව්‍යවසායක සභාව, ප්‍රාදේශීය මට්ටමින් ව්‍යවසායක සභා 22ක් හා ව්‍යවසායක සංගම් 22ක් දැනටමත් ස්ථාපිත කර තිබේ. මෙම සංවිධිත ව්‍යුහයන් මඟින් බලාපොරොත්තු වන්නේ වඩා විධිමත් ප්‍රවේශයක් මඟින් ප්‍රාදේශීයව විසිරී සිටින ව්‍යවසායක ප්‍රජාව සංවිධානය කර බල ගැන්වීම මඟින් තිරසර බවින් සපිරි ව්‍යවසායක සංස්කෘතියක් (Entrepreneurial Culture) ඇති කිරීමයි. එසේම දළ ජාතික නිෂ්පාදනය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය මගින් සපයනු ලබන දායකත්වය ඉහළ නංවාලීමයි.